3 ආධුනිකත්වය
ඔවුන් ආපසු පැමිණීමෙන් පසු ඉරිදා දිවා ආහාරයෙන් පසු ඩේසි ඇගේ පියාට මෙසේ පැවසුවාය. “තාත්තේ, ඔයා මාව පාවිච්චි කරන්න කැමති ඕනෙම විදිහකට ඔයාට උදව් කරන්න මම ලෑස්තියි. මට ඕනේ ඔයා මාව, ඔයාගේ දකුණු අතේ මිනිහා, ගැහැණු ළමයා හරි, අර්, ගෑනු කෙනා හරි කියලා, මාව හිතන්න කැමති ඕනෙම කෙනෙක් වෙන්නයි. මම හිතන්නේ අපේ වැඩ කටයුතු පවුල ඇතුලෙම තියා ගත්තම වඩා හොඳයි කියලයි. ඒ නිසා, ඔයා කැමති නම්, මම හෙට ඉඳන් ඔයාගේ දෙවෙනියා විදිහට ටෝනිගේ රස්සාව භාර ගන්නම්.”
එම පක්ෂපාතිත්වයේ ප්‍රකාශය වෙනුවෙන් ඇය තම වීරයාගෙන් තවත් වැළඳගැනීමක් අපේක්ෂා කළාය. නැතහොත් අවම වශයෙන් බලාපොරොත්තු වූවාය. නමුත් ඇයගේ බලාපොරොත්තු නැවතත් සුන් වූවාය. නමුත් වසර ගණනාවක් තිස්සේ ඇගේ ලස්සන මුහුණේ එවැනි දේ පෙන්වීමට ඇය ඉඩ නොදුන්නාය.
"ටෝනි අවුරුදු තිහක් තිස්සේ මාත් එක්ක ඉන්නවා ... ඔයාට එහෙම එකපාරටම එයාගේ සපත්තු වලට යන්න බැහැ, මගේ ආදරණීය කෙල්ලේ ... කොහොම උනත්, ඔයාගේ අම්මා මොකක් කියයිද? ටෝනිට තියෙන්නේ භයානක රස්සාවක්. මට ඔයාව එයාගෙ තත්වෙට දාන්න බෑ..."
ඇගේ හද කම්පා වූ නමුත් එය දැන සිටියේ ඇය පමණි.
“මට උදව් කරන්නයි ඕනේ වුනේ තාත්තේ. මට ඕනේ ඔයා පිහිටුවලා තියන මේ සංවිධානයේ, ඒ වගේම මගෙයි අම්මගෙයි…මේ ජීවන තත්වයට ගෙවලා තියන මේ සංවිධානයේ ඇතුලේ මගේ කාර්යභාරය ඉටු කරන්නයි.”
“ඒක හරිම මිහිරි දෙයක්, ඩේසි, ඒත් මට පේන්නෙ නෑ ඔයාට කොහොමද ඒක කරන්න පුළුවන් කියලා... මම ඔයාට කියන්නම් මම මොකක්ද කරන්න යන්නේ කියලා. ඒ ගැන හිතලා බලන්න මට දවස් කිහිපයක් දෙන්න, එතකොට මම අපේ පවුලේ ව්‍යාපාරයේ තනතුරක් එක්ක ඔයාට කතා කරන්නම්. ඒක හොඳද?"
"පොරොන්දු වෙනවද?"
"මම පොරොන්දු වෙනවා, කුකුල් පැටියෝ, සතිය ඉවරවෙන කොට."
ඔහු ඇයට ‘කුකුල් පැටියෝ' යැයි කියන විට, ඇය එයට කැමති වූ අතර ඔහුගේ කම්මුල සිප ගත්තාය.
"ඔයා දැන් මෙතනින් ගිහින් මට ඒ ගැන හිතන්න ඉඩ දෙන්න", ඔහු පැවසීය.
∞
ජෝන් තම දියණිය ගැන ආඩම්බර වූ අතර ඇය ඔහුට වීරයෙකු ලෙස සලකන ආකාරය ගැනද ආඩම්බර විය. නමුත් ඩේසිට ඔහුගේ ව්‍යාපාරික අභිරුචියන් පිලිබඳ අවශ්‍ය ප්‍රමාණයට වඩා දැන ගැනීමට ඉඩ දුන්නේ නම්, ඔහුව වීරයෙකු ලෙස සැලකීම පරීක්ෂාවට ලක් වනු ඇතැයි ඔහු කනස්සල්ලට පත්ව සිටියේය. එබැවින්, ඔහුගේ මූල්‍ය කටයුතුවල නීත්‍යානුකූල මුහුණුවර සමඟ පමණක් සම්බන්ධ වූ රැකියාවක් ලබා දීමෙන් ඔහු ඇයව අතේ දුරින් තබා ගැනීමට උත්සාහ කළේය.
"ඩේසි, මම ඔයාට සුදුසුම රස්සාවක් හොයාගත්තා", ඔහු දිනක් ඇයට කීවේය. “ඔයා ඉගෙන ගන්න පාවිච්චි කරපු කාමරය අපි ගැලපෙන, ගෞරවාන්විත කාර්යාලයකට පරිවර්තනය කරන්න අපි ලෑස්ති වෙනවා. ඔයාට ඒකෙ මූල්‍ය කටයුතු ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. ඔයා මේ රටේ මූල්‍ය නීති ගැන සම්පුර්ණයෙන් දැන ගත්තහම ඔයාට සමාගමේ පොත් තබන්නා හරි ගණකාධිකාරීවරයා හරි වෙන්න පුළුවන්. එක්සත් රාජධානිය සම්බන්ධයෙන් ඔයා ඒ ඔක්කොම ඉගෙන ගත්තා කියලා මම දන්නවා. ඒ වුනාට ස්පාඤ්ඤය තරමක් වෙනස්. ඒ නිසා ඔයා දැන් ඒ ගැන ඔළුව වෙහෙසන්න වෙයි.” මෙම අමතර බර ඇය මත පැටවීමෙන් ඇයට ඔහුගේ කටයුතු අධ්‍යයනය කිරීමට කාලය නොමැති වනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය.
"ඔයාට ඕන මාව ලිපිකරුවෙක් කරන්නද? මේ මුළු කාලයම - අවුරුදු දාසයක් හරි ඊට වැඩියෙන් හරි - ඉගෙන ගන්න වැය කරාට පස්සෙත් මම ආධුනික පොත් තියන්නෙක් වෙන්නද ඕනේ?”
ඔහු ඇයව අමනාපයට සහ කලකිරීමට පත් කර ඇති බවත්, ඇයව කොන් කිරීම ඔහු බලාපොරොත්තු වූ තරම් පහසු නොවන බවත් ඔහුට පැහැදිලි විය. එය ඔහු නොසිතූ ප්‍රශ්නයක් විය.
“ඔයා කොහෙන් හරි පටන් ගන්න ඕනේ, කුකුල් පැටියෝ. අනික ඒ උඩින්ම වෙන්න බැහැ. හැම කෙනෙක්ම ආයතනයක එයාලගේ තැන උපයා ගන්න ඕනේ බිම් මට්ටමේ ඉඳලා පටන් අරගෙන... අනික ඔයාට පහල මට්ටමේ නෙමෙයිනේ ඉන්න වෙන්නේ. හැම ආයතනයකටම හොඳ ගණකාධිකාරීවරුන් ඕනේ වෙනවා, නැත්තම් ආණ්ඩුවයි, සමහර සේවකයිනුයි ඔයාව පණපිටින් හම ගහයි.”
"ඔයාගේ රාජකාරිය වෙන්නේ අපේ සමාගමේ මුදල් කාන්දු වෙන එක නවත්වන එකයි." ඔහු දැන් තමාගේ දක්‍ෂතාවය අනුව දෙපයින් සිට කල්පනා කරමින් සිටියේය. “ඔයාට අපේ ව්‍යාපාරයේ හැම පැත්තක්ම විශ්ලේෂණය කරලා, ඒවා මූල්‍ය ප්‍රතිඵලවලට ගලපන්න සිද්ධ වෙනවා. එතකොට ඔයාට පුළුවන් වෙයි අපි දේවල් කරන විදිහ වැඩිදියුණු කරගන්න යෝජනා ඉදිරිපත් කරන්න. ඔයා දන්නවා, මම වයසට යනවා කියලා. ඉස්සර කරා වගේ අපේ ඔක්කොම මෙහෙයුම්වල ස්පන්දනය උඩ මගේ ඇඟිලි තියාගෙන බලන්න දැන් මට බැහැ.”
“ඒක නිසයි මට ඔයාව ඕන. විශ්වාසවන්ත, බුද්ධිමත් ඒ වගේම හොඳට ඉගෙනගත්තු පවුලේම කෙනෙක්... ශක්තියක් තියන, වැඩේ හොඳට කරන්න උනන්දුවක් තියන තරුණ කෙනෙක්. ඒ ඔක්කොටම ගැලපෙන වෙන කවුරුත් නැහැ නේද?"
ඔහු ඇයව රවටනවා දැයි විනිශ්චය කරගැනීමට ඇය ඔහුගේ දෑස් දෙස බැලුවාය. නමුත් එම කාර්යය ඉටු කිරීමට වෙනත් කිසිවෙකු නොමැති බවට එකඟ වීමට සිදු විය. “මම දන්නවා තාත්තේ ඔයා මට මෘදු චතුර විදිහට කථා කරනවා කියලා. ඒත් ඔයා එක්ක වාද කරන්න අමාරුයි. ඒ නිසා මම ඔයාට ඕන දේ කරන්නම්. නමුත් මම අධිෂ්ඨාන කරගෙන ඉන්නේ නියම රස්සාවක් කරන්න මිසක් ඔයා හදාගත්ත මෝඩ නිදහසට කාරණා කරන්න නෙමෙයි. අපේ ව්‍යාපාරයට සැබෑ දායකත්වයක් ලබා දෙන්න මට ඇත්තටම ඕනේ. මට ආපහු මොනවා හරි ඒකට දාන්න ඕන. අපි එක් එක්කෙනාව තේරුම් ගන්නවා නේද?”
“ඔව්, සොඳුරිය, නමුත් ඔයා මේ දේත් තේරුම් ගන්න ඕනේ: මේ අලුත් භූමිකාවට හැඩගැහෙන්න ඔයාට ටික කාලයක් යයි. ඒක එච්චර අලුත් වැඩකුත් නෙමෙයි. වෙලාව තිබුන හැටියට, මම හැම දවසකම හරි සුමානෙකට සැරයක් හරි මගේ හැම ව්‍යාපාරයකම පරීක්ෂා කරන්න මම පුරුදුවෙලා හිටියා. නමුත් මම ඒක ටිකක් ලිස්සලා යන්න ඉඩ දීලා තියනවා. ඒ නිසා මම නවත්තපු තැනේ ඉඳන් ඔයා පටන් ගන්න ඕනේ.”
"ඔයාට ඒක තේරෙනවද?"
“ඔව්, තාත්තේ, මම කවදා ඉඳන්ද පටන් ගන්නේ? මට ඔයත් එක්ක වැඩ කරනකම් බලන් ඉන්න බැහැ.”
“මටත් එහෙමයි, ආදරිය. නමුත් අපි ඔයාට කාර්යාලයේ වැඩ වලට අලුත් පරිගණකයකුයි ලොකු මේසෙකුයි ගමු. ඔයාට ඒ ඔක්කොම නිරාකරණය කරගෙන මොනවා හරි ගණකාධිකාරී පාඨමාලාවකට ලියාපදිංචි වෙන්න පුළුවන්. අපේ ගණකාධිකාරී මැනුවෙල්ගෙන් අහන්න, එයා නිර්දේශ කරන්නේ මොනවගේ දෙයක්ද කියලා. ඒ වගේම එයා භාවිතා කරන මෘදුකාංගයම අරගන්න.” ජෝන් මේ සියල්ල කියමින් සිටියදී, තම දියණිය හට හොඳින් ඉටු කිරීම ගැන ආඩම්බර විය හැකි අර්ථවත් කාර්යයක් ලබා දීමට පන්දුව නැවත තම පැත්තට පැමිණ ඇති බව ඔහුට වැටහුණි.
ඔහුට තවමත්, ඔහු කළ කෛරාටික වැඩ අසලට ඇය ලඟාවනවාට කිසිසේත් කැමති නොවීය.
∞
ඊළඟ සඳුදා උදෑසන නවයට ඩේසි ඇගේ මේසය පිටුපස වාඩිවී, ඇයගේ ඇපල් මැක් පරිඝනකය ක්‍රියාත්මක කර එහි කිසිදු ගිණුමක් අඩංගු නොවුනාවූ හිස් ගිණුම්කරණ වැඩ සටහන දෙස බලා සිටියාය. කිසිවෙකු ඇයව බැලීමට නොපැමිණි අතර, කිසිවෙකු ඇයට කිසිදු දත්තයක්ද නොඑවූහ. එලෙසම කිසිවෙකු ඇයගෙන් උපදෙස් ඉල්ලා සිටියේද නැත. කෙසේ වෙතත්, ඇය මෙම රැකියාව තමාගේම කර ගැනීමට අදිටන් කර ගත්තාය. තම පියා කෙසේ හෝ තමාව මුලාකර රවටා ඇති බව ඇය දැන සිටියත්, පසුගිය වසර කිහිපය තුළ කටයුතු ලිස්සා යාමට ඉඩ හල බව ඔහු පිළිගත් විට ඔහු සත්‍යය පවසන බව ඇයට ඒ හා සමානව විශ්වාස විය. කුමන ආකාරයකින් හෝ ඇය සියල්ල පාලනය කිරීමට සිතා ගත්තාය.
කෙසේ වෙතත්, කළ හැකි කිසිවක් නොතිබූ ඇය, සිය නව පරිගණකයේ දුසිමකට ආසන්න වැඩසටහන් සඳහා සියලු සැකසුම් පුරවා සිය සේවා ජීවිතය ආරම්භ කළ අතර පසුව ඇය දිවා ආහාරය සඳහා ගියාය.
"ඔයාගේ තාත්තා වෙනුවෙන් වැඩ කරපු ඔයාගේ පලවෙනි දවස කොහොමද?" ඇගේ මව ඇසුවාය.
“ආ, මම මගේ ඔක්කොම වැඩසටහන් ටික සකස් කරලා, කවුරු හරි මට කරන්න ඕනේ මොනවද කියලා කියනකම් බලාගෙන හිටියා... නැත්තම් අඩුම ගානේ මට පරික්ෂා කරලා බලන්න තියන ව්‍යාපාර පිළිබඳ තොරතුරු - ඒ කියන්නේ, ඒවල නම්, ලිපිනය වගේ දේවල්. නමුත් කිසි දෙයක් නැහැ. ඉතින් මම මට පුළුවන් දේ කරලා දවල්ට කන්න ආවා.”
"ඒක තමයි පාර, ආදරණීය දුවේ. ඔයා අන්තිමේදී කොහොම හරි එතෙන්ට එනවා. අතාරින්නේ නැතුව, හිමීට යන අය තමයි තරඟය දිනන්නේ." බොහෝ විට තැනට නුසුදුසු, අර්ථ විරහිත දේ කියන්නාවූ, කම්මැලිකමට නැඹුරු වූ තම මව දෙස ඇය බැලූ නමුත් ඇය ආහාර ගනිමින් ඇය දෙස නොබලමින් සිටියාය. එවිට ඇය තම පියා දෙසට බැල්ම යොමු කළ නමුත් ඔහුද ඇයව මග හරිමින් සිටියේය.
"ඉතින් තාත්තේ, කවුද මට පටන් ගන්න උදව් කරන්නේ?" මේ කාරණය මගහැරී යාමට ඉඩ නොදීමට ඇය අධිෂ්ඨාන කර ගත්තාය.
“සමාවෙන්න, කුකුල් පැටියෝ, මොකක්ද ඔයා කිව්වේ? මම වෙන දෙයක් ගැන හිත හිත හිටියේ. මට අමතක වෙන්න කලින් අහන්නේ, මම යවන්න කියපු තොරතුරු ටික මැනුවෙල් ඔයාට එව්වද?"
"මම දන්නේ නැහැ. ඔයා කියන්නේ මොන තොරතුරුද? කොහොම උනත්, මම අහන්නේ, එයා හරි, වෙන කිසිම කෙනෙක් හරි, උදේ වරුව පුරාම මට කිසිම දෙයක් එව්වේ නැති නිසා. නැහැ, එයා ඔයා කියපු දේවල් එව්වේ නැහැ.”
“සමහර වෙලාවට මට ඒක එයාට කියන්න අමතක වෙන්න ඇති. තත්පරයක් දෙන්න." ඔහු තම දුරකථනයේ බොත්තම් කිහිපයක් ඔබා යමෙකුට කතා කළේය. “නැහැ, මම එයාගේ අලුත් සම්බන්ධතා තොරතුරු දන්නේ නැහැ. මම එයාටම ඉඩදෙන්නම් ඔයාට කියන්න.” ඔහු ඩේසිට ඔහුගේ දුරකථනය දෙමින් පැවසුවේ, “ඔයා ව්‍යාපාරික කාඩ්පත් කිහිපයක් මුද්‍රණය කර ගන්න ඕනේ. එතකොට ඔයා ඉන්නවා කියලයි, ඔයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලයි මිනිස්සු දැන ගනීවී… මම එක ගෙදර ඔයත් එක්ක ඉඳලත්, මම දන්නෙත් නැහැ.”
ඇය කාරණය තේරුම් ගත්තාය. ඇය සමඟ කුමක් කළ යුතු දැයි මිනිසුන් දැන සිටියත් නැතත්, ඇය වෙත ප්‍රවේශ විය නොහැකි වීම සම්බන්ධයෙන් ඇයටද එක හා සමාන දොසක් එල්ල විය යුතුය. එදින දහවල්, ඇය මාර්ගගත යෙදවුමක් භාවිතයෙන් ව්‍යාපාරික කාඩ්පතක් නිර්මාණය කර, එය තමාට අවශ්‍ය ආකාරයට කපා වහා මුද්‍රණය කිරීම සඳහා එය දේශීය මුද්‍රණාලයකට විද්‍යුත් තැපෑලෙන් යැව්වාය. පසු දින වර්ණ කාඩ්පත් දහසක් ඇයට ලැබෙනු ඇත. ඇයට ගැටලුවක් වූ එකම කාරණය වූයේ ඇයගේ රැකියා තත්වයයි. ඇය පොත් තබන්නියක ලෙස හෝ ගණකාධිකාරීවරියක ලෙස එය අණාවරණය නොකිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියාය. ඇය අවසානයේ සඳහන් කල දෙය වූයේ: 'ගැටළු විසඳන්නා' යන්නයි.
එය පවුලේ ස්වභාවයට ගැලපේ යයි ඇය සිතුවාය. එලෙසම එය කාන්තාවක් සඳහා කලහකාරී බවක් ගම්‍ය කරන්නාවූ වචනයක්ද විය. විශේෂයෙන්ම ඇය වැනි හුරුබුහුටි, තරුණ, නිල් පැහැති ඇස් ඇති, දුඹුරු හිස කෙස් සහිත කාන්තාවකට, එය පරිපූර්ණ විය. ඉන්පසු ඇය තම පියාගේ ව්‍යාපාරවල නම් සහ විස්තර ඇතුළත් කර ඔවුන් සිටින ස්ථානය සහ ඔවුන් කළ දේ පිළිබඳව ඇයව හුරු කර ගත්තාය.
එදින සවස රාත්‍රී භෝජන වේලාවේදී ඇයට ලබා දී තිබූ ව්‍යාපාර පහළොවේ ලැයිස්තුව ඇය තම පියාට ඉදිරිපත් කළාය.
"හරි තාත්තේ", ඇය පටන් ගත්තාය. "මට මේ හැම ආයතනයකම ඉන්න කළමනාකරුවන්ට මම කවුද කියලා දන්නන්න ඕනේ. ඒ වගේම මම ඒවා ගැන අධ්‍යයනය කරන එකේ මගේ අරමුණ මොකක්ද කියලා කියන්න ඕනේ. ඔයා මාව වටේට එක්කගෙන ගිහින් මාව හඳුන්වලා දෙන එකද, නැත්තම් ඔයා එයාලට දුරකතනයෙන් කතා කරාට පස්සේ, ඔයාගෙන් ලියුමක් අරගෙන යන එකද වඩා හොඳ කියලා ඔයා හිතන්නේ?”
"ඔයාට පටන් ගන්න ඕනේ මොන එකෙන්ද?"
“මම හිතන්නේ පොඩිම දෙකෙන් පටන් ගත්තොත් හොඳයි කියලා. එතකොට ලොකු ඒවා එක්ක වැඩ
කරන්න ඉස්සර මගේ ශිල්පීය ක්‍රම ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. ඔයා මොකද හිතන්නේ?"
“ඒක මට හොඳයි වගේ. මේ ලැයිස්තුව මොකක් හරි පිළිවෙලක් ඇතුව හදපු එකක්ද?”
“ලාභය වැඩිම එකේ ඉඳන් අඩුම එක වෙනකන්. ඔයා ඒකවත් දන්නේ නැද්ද? දෙවන තීරුවේ පෙන්වනවා පිරිවැටුමේ ලාභ ප්‍රතිශතය.”
"මට මේ ගණන් හැම කාර්තුවකටම මැනුවෙල්ගෙන් හම්බවෙනවා. නමුත් ඒවා සාධාරණයි කියලා පේනකන්, මම ඒවා ගැන වැඩිය කරදර වෙන්නේ නෑ". ඒ කිවූ දේ සත්‍යයක් විය. ඔහු ප්‍රකෝටිපතියෙකු වූ අතර ඔහුගේ නීත්‍යානුකූල ව්‍යාපාර ඔහුගේ ජීවන රටාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආවරණය කළේය. නමුත් ඔහුගේ අනෙකුත් ව්‍යාපාර ඔහුහට වැඩි ධනයක් ගෙන ආවේය.
“ඔයාගේ ලැයිස්තුවේ පළමු දෙක හම්බවෙන්න මම ඔයාව අරගෙන යන්නම්, ඒකේ ගැටලුවක් නැහැ, නමුත් පහළොස් දෙනාම ගාවට ඔයාව අරගෙන යනඑක ගැන මට සහතික වෙන්න බැහැ. ඔයා කතා කරන්නේ කොහොමද, දවසට එක ගානේද?”
“ඒක තමයි මූලික සැලැස්ම, නමුත් ඇත්ත වශයෙන්ම ඒ දේ රඳා තියෙන්නේ මම හොයා ගන්න දේ මතයි. සමහර ඒවාට වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්.”
ජෝන් එයට එකඟ වෙමින් හිස සැලුවේය. "මම මගේ කාර් එකෙන් යන්නම්, ඔයාට ඔයාගේ එකේ යන්න පුළුවන්. මම ඔයාව හඳුන්වලා දුන්නට පස්සේ, මම මගේ අනිත් වැඩ වලට යනවා,ඔයා ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. ඒක ප්‍රශ්නයක් නැහැ නේද?"
"ඇත්ත වශයෙන්ම, ඒක හොඳයි. ඔයා, ඔයාගේ මහපට ඇඟිල්ල අඹර අඹර ඉන්න ඕනේ නැහැ.”
∞
ඇයගේ ලැයිස්තුවේ පෙරවරු එකොළහට මුණගැසීමට නියමිතව තිබූ පළමුවැන්න වූයේ ‘කැම්බියෝ’ - මාර්බෙල්ලාට මිනිත්තු තිහක් උතුරින් ලොස් බොලිචස් හි මුහුදු තීරයේ මිනිසුන්ට මුදල් සහ සංචාරක චෙක්පත් හුවමාරු කර ගත හැකි ස්ථානයක් විය. ඔවුන් වෙන වෙනම තම මෝටර් රථවලින් එහි යන විට, ඩේසි ඔවුන්ගේ දෑත් පාවිච්චි නොකරන ජංගම දුරකථන සම්බන්ධතාවය භාවිතා කොට තම පියාට තම කනස්සල්ල පැහැදිලි කළාය.
“ඒක අමාරුවෙන් යන්නේ තාත්තේ. පොඩි පෙට්ටි කඩයක් වගේ තැනකට ගෙවන කුලිය වැඩියි. ඒ වගේම ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ සලකන්න බැරි තරම් පොඩියි. මේ ව්‍යාපාරය වහලා දාලා, ඒ සල්ලි වෙනත් තැනක ආයේ ආයෝජනය කරන එක වටිනවා.”
“ආහ්, කෙල්ලේ! වේගේ අඩු කරන්න. ඔයාට දීලා තියෙන්නේ විමර්ශනාත්මක පැවරුමක්. ඔයා හොයාගන්න දේවල් මං ලඟට අරගෙන එන්න. පස්සේ අපි තීරණය කරමු මොකක්ද කරන්නේ කියලා. ඔයා ඒවා මාත් එක්ක කතා කරලා සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා මගේ ව්‍යාපාර වහලා දාන්න පටන් ගන්න එපා. ඒක පැහැදිලිද?"
ඇය එය එලෙස අදහස් කර නොතිබුණත්, සංවේදී කරුණු සාකච්ඡා කිරීමේදී වඩාත් ප්‍රවේසමෙන් ඇගේ වචන තෝරා ගැනීම පිළිබඳව මෙය ඇයට පාඩමක් විය. ඇය සමාව අයැද සිටියාය. “සමාවෙන්න තාත්තේ. ඒක වැරදි විදිහටයි එලියට ආවේ. මම ඔයාටත් ඒක ඇහෙන විදිහටයි කල්පනා කරලා තියෙන්නේ."
“එහෙනම් ඉගෙන ගන්න ඔයාට තව දෙයක් තියනවා. ඔයා හිතන දේවල් මිනිස්සුන්ට කියනකොට පරිස්සම් වෙන්න. ඒ වගේ දෙයක් ඔයාගේ අම්මගෙයි මගෙයි ඉස්සරහා උනාට කමක් නැහැ. නමුත් වෙනත් කිසිම කෙනෙක් එක්ක එහෙම වෙන්න බැහැ. ඒක හරියට නිකම් ඔයා ගාව තියන තුරුම්පු මොනාද කියලා හැමෝටම කියනවා වගේ දෙයක්. ඒක මෝඩ වැඩක්.”
"හරි තාත්තේ, මට ඔයාව පැහැදිලිව තේරෙනවා." ඇත්ත වශයෙන්ම, ඇය එම කාරණය බොහෝ කලක සිට දැන සිටියත්, ඔහු පැවසූ පරිදි එය තම දෙමාපියන්ට අදාළ නොවන බව ඇය සිතුවාය. කෙසේ වෙතත්, පෙනෙන විදිහට එය එසේ නොවූ අතර ඇය තවත් පාඩමක් ඉගෙන ගත්තාය.
කුඩා කඩය පවත්වාගෙන යන පැකෝට තම දියණිය හඳුන්වා දුන් ජෝන්, කෝපි කෝප්පයක් පිළිගෙන පසුව ඔවුන් දෙදෙනා හට වැඩය කරගෙන යාමට ඉඩදී පිටත්විය. පැකෝ සහ ජෝන් පැරණි මිතුරන් මෙන් එකිනෙකා සමඟ හැසිරුනද, පසුව ජෝන් නික්ම ගියපසු ඔහු ඩේසි සමග පරික්ෂාකාරීව වැඩ කළේය.
දිනකට සිදුවන ගනුදෙනු ප්‍රමාණය සහ ඒවායේ සාමාන්‍ය වටිනාකම, කාර්යබහුලම වේලාවන් සහ කාර්යබහුලම දින පිළිබඳව ඇය ඔහුගෙන් ප්‍රශ්න කළාය. පෙර කාර්තුවේ අවසානය දක්වා සහ මේ වන තෙක් මෙම තොරතුරු ඇය සතුව තිබුණි. නමුත් ඇයට අවශ්‍ය වූයේ කටයුතු පිලිබඳ පැකෝගේ දැනුම කොපමණ ප්‍රමාණයක් තිබේද යන්න දැන ගැනීමටය.
දහවල් දෙකට පමණ ඇය බඩගින්නක් මවා පාමින් තම වාහනයේ නැගී කඩයෙන් පිටත්ව ගියාය. කෙසේ වූවද, ඇය තම සිත් මනබඳින ප්‍රදර්ශනාත්මක පෝර්ශේ රථයේ නැගී මද දුරක් නොපෙනී ගිය අතර, පසුව නව පරපුරේ නිළියක මෙන් හිස් ආවරණයක් සහ අව් කණ්ණාඩියක් පැළඳ වෙස් වලාගෙන, කුඩා කඩය ඉදිරිපස වෙරළේ පිහිටි අවන්හලකට ආපසු පැමිණියාය. ඇය, සී බාස් සලාදය තෝරා ගත් අතර ඉන්පසු හිම කිරීම අනුභව කරමින් පැය ගණනක් එහි ගතකල අතර ඇගේ නිකොන් එස් එල් ආර් කැමරාවේ විශාලන කාචයෙන් කුඩා කඩය වෙත පැමිණි සියල්ලන්වම ඡායාරූප ගත කළාය.
ඇය තම සොයාගැනීම් ගැන උද්යෝගිමත් වූ අතර එදින රාත්‍රී ආහාරය අතරතුර එය තම පියාට වාර්තා කිරීමට අවශ්‍ය වූ නමුත් එදින උදෑසන ඔහු ඇයට පැවසූ දේ නිසා ඇය එම පෙළඹවීම යටපත් කරගත්තාය. සම්පූර්ණ විශ්ලේෂණයක් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බවත්, ඊළඟ සෙනසුරාදා වනතුරු හෝ බොහෝ විට සඳුදා දක්වා ඇයව ඊළඟ ව්‍යාපාරයට හඳුන්වා දීමට ඔහුගේ සහාය අවශ්‍ය නොවන බවත් ඇය සරලව ඔහුට පැවසුවාය.
එම සතියේ සෑම දිනකම දිගු දිවා ආහාර කාලයක් සඳහා ඇය අවන්හලට පැමිණි අතර සිකුරාදා සවස ඇගේ වාර්තාව ලියා තැබුවාය. ඇයගේ පළමු විග්‍රහය සම්පූර්ණ වූ අතර ඇය ඒ ගැන ආඩම්බර වූවාය.
සිකුරාදා රාත්‍රියේ, ආහාරයෙන් පසු ඇය එම වාර්තාව තම දෙමාපියන්ට ඉදිරිපත් කළාය.
මිනිත්තු විස්සක කාලයක් ගතවූ එම වාර්තාවෙන් පසු ඇය සිය නිගමන ඉදිරිපත් කළාය.
“මගේ පළමු හැඟීම වුනේ කළමනාකාර, පැකෝ, ගොඩක් වෙලාවට කඩේ විවෘත කරන්නේ නැතුව තියනවා හරි, ගණන් හිලව් හරියට ඉදිරිපත් කරන්නේ නැහැ හරි කියලයි. කොහොම වූනත්, පැකෝට, සමාගම ගැන තියන එයාගේ ග්‍රහණය අත ඇරෙන බවක් පේන්න තිබුනත්, එයා අවංකව වැඩ කරනවා. ඒ වගේම එයා රපෝර්තු කරන හැම පැයකම වැඩ කරනවා කියලා වාර්තා කරන්න මම සතුටුයි. කොහොම උනත්, ඒ ව්‍යාපාරය යන්තම් ලාභදායි එකක් වෙන්නේ, පලවෙනි කාරණය, ATM කාඩ් එකක් භාවිතා කරලා තමාගේ බැංකු ගිණුමෙන් දේශීය මුදල් කෙලින්ම ලබා ගන්න මිනිසුන් සතුටු වන නිසාත්, දෙවෙනි කාරණය, සංචාරක චෙක්පත් අලෙවිය අවුරුදු ගණනාවක් තිස්සේ පහත වැටීගෙන යන නිසා ඒක ලාභයට බලපාන නිසාත්.”
“අභිප්‍රාය ලාභයක් ගන්න එක නම්, මේ ව්‍යාපාරය වහලා දාන එක සාධාරණ වෙයි. ඒකෙ ප්‍රතිලාභ වෙනත් ව්‍යාපාර වලින් එකකට දාන්න පුළුවන්. නමුත් මොකකටද කියලා තාමත් මට කියන්න බැහැ.” ඇය තම මවගේ අත්පොළසන් හඬ මැද වාඩි වූවාය.
“ඩේසි ඒක හොඳට කියෙව්වා නේද, ජොනී? හැබෑම වෘත්තිකයෙකු වගේ ... අමතක කරන්න එපා, 'වෙලාවට දාන මැහුම නිසා තව මැහුම් නමයක් ඉතුරු වෙනවා!’ ඒක තමයි මම හැමදාම කියන්නේ."
ඔවුන් දෙදෙනාම ඇය දෙස බලා, හිස වනමින්, සිනහ වෙමින් පසුව නැවතත් එකිනෙකා දෙස බලා සිටියහ. ඩේසි ප්‍රශංසාවක් බලාපොරොත්තු වූ නමුත් එය අපේක්ෂා කරනවාට වඩා නොකිරීම වඩා හොඳ බව දැන සිටියාය.
"ස්තූතියි, ඩේසි", මිනිත්තු කිහිපයක කල්පනාවෙන් පසුව ජෝන් පිළිතුරු දුන්නේය. “ඔයාගේ විග්‍රහය එක්ක ඔයා හරියි කියලා මම හිතනවා. මූලික වශයෙන්, නිවැරදියි. කොහොම වුනත්, ඔයා පැකෝ ගැන මොනවා හරි දැක්කද?"
"එයා දුර්වලයි, ඔයා අදහස් කරන්නේ ඒක නම්?"
“ඔව්... එයාගේ කකුල් තැලිලා පොඩිවෙලා. ඔයා කියන විදිහට දුර්වලයි. තෙරේසා, ඔයාට මතකද පැකෝ? ලොස් බොලිචස් වල, කැම්බියෝ එක කරගෙන යන පුද්ගලයාව?” ඇය හිස වැනූ අතර ඇයගේ දෑස් වලට කඳුළු ඉනුවාය.
"කොහොමද ජොනී, ඒ ආදරණීය මිනිහා? එයා හොඳින්ද?"
"ඔව්, දයාබරිය, එයා හොඳින්. ඩේසි සතිය පුරාම එයත් එක්ක කාලය ගත කළා...”
“අනේ හොඳ කෙල්ල! කවදාවත් ඔයාගේ පැකෝ මාමාව අමතක කරන්න එපා.”
ඩේසි ව්‍යාකූල විය. ඇය මීට පෙර ‘පැකෝ මාමා’ ගැන අසා නොතිබුණාය. "එයා කවුද තාත්තේ?"
"මම ඔයාට කියන්නම් එයා කවුද කියලා, කිකිළී. එයා ටෝනි එක්ක වැඩ කළා. දවසක් මම ෆුඑන්ගිරෝලා වලදී කාර් එකෙන් බහිනකොටම මිනිහෙක් මට මැෂින් තුවක්කුවෙන් වෙඩි තියන්න හැදුවා. ඔයාගෙ අම්මා එතකොටත් කාර් එකේ හිටියේ. පැකෝ මට බහින්න දොර ඇරගෙන හිටියා. එයා මාව ආපහු ඇතුලට තල්ලු කරලා කකුල් වලට උණ්ඩ පහක් ගත්තා.”
“මට වදින්න තිබුන උණ්ඩ පහක්ම, සමහරවිට ඔයාගේ අම්මටත්. මම, අපි, පැකෝට අපේ ජීවිත වලින් ණයයි. ඊට පස්සෙ ඔයා කියන විදියට එයා දුර්වල වුණා. ඉතින් අපි එයාට ආදායමක් වගේම ගෞරවයක් ලැබෙන්න පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා.”
“මම මේක කියන්නේ ඔයාගේ වැඩේ විවේචනය කරන්න නෙමෙයි. ඒක ඇත්ත වශයෙන්ම නිවැරදියි. නමුත් පැකෝට ජීවිත කාලයටම රස්සාවක් තියනවා... එයා පොඩි ලාභයකුත් ආපසු ලබලා දෙනවා. ඒ සල්ලි ඔයාගේ අම්මයි, මමයි, එයා දන්නේ නැති අරමුදලකට දානවා. එතකොට එයා විශ්‍රාම යනකොට එයාට ඒක තියනවා.”
තමාව අසාර්ථක කරවීමට මේ රැකියාව ලබා දුන් ලෙස ඩේසිට දැනුනි. නමුත් තමාට ලබා දුන් කරුණු සහ දැනුමේ රාමුව තුළ ව්‍යාපාරය විශ්ලේෂණය කිරීමට ඇය අවංක උත්සාහයක් ගත් නිසා සැනසීමක් ලැබුවාය.
අනෙක් ව්‍යාපාර දාහතර විශ්ලේෂණය කිරීමට මාස කිහිපයක් ගත වූ නමුත්, එක් තැබෑරුමක් හිටපු සේවකයෙකු විසින් පවත්වාගෙන ගියද, තවත් සැඟවුණු උගුල් නොතිබුණි. ඇන්ඩාලුසියාහි ජෝන්ගේ නීත්‍යානුකූල අධිරාජ්‍යය සමන්විත වූයේ මධ්‍යම පරාසයේ හෝටල් තුනකින්, අටේ සිට රාත්‍රී දක්වා ක්‍රියාත්මකවූ පහසුව සඳහා වූ ගබඩාවක්, අවන්හල් හතරක්, බාර් හතරක්, සංචාරක නියෝජිතායතනයක්, සංචාරක චාරිකා ක්‍රියාකරුවෙක් සහ පැකෝ ගේ කැම්බියෝ මගිනි. කෙසේ වෙතත්, ඇය බාර් දෙකක් සහ හෝටල් දෙකක් සමඟ විෂමතා සොයා ගත්තාය.
දිනක් හවස් කාලයේදී, ටෝනි සමඟ උයනේ කාලය ගත කරන අතරතුර, ඇය සිය ජීවිත කාලයම කළ පරිදි ඔහුගේ උපදෙස් පැතුවාය. ඔහු, ඇගේ සැබෑ අයට වඩා ඇයට මාමා කෙනෙක් සහ විශ්වාසවන්තයෙක් විය.
"ටෝනි මාමේ, ඔයා මගේ තාත්තා ළඟ ගොඩක් කල් ඉඳලා ඉන්නවා. ඔයා හිතන්නේ මම සමාගමට උදව් කරනවා කියලාද නැත්නම් නිකම්ම උපක්‍රමයකට අහුකරලා කියලද?"
“පොඩි එකෝ, මම කවදාවත් ඔයාට කැමැත්තෙන් බොරු කියලා නැහැ. ඒ උනාට මගේ පළවෙනි පක්ෂපාතිකම ඔයාගේ තාත්තාට වෙන්න ඕනේ කියන එක ඔයා දැනගන්න ඕනේ. ඔයා උදව් කරනවා කියලා එයා කියනවානම්, ඒ ගැන ආයේ තර්ක කරන්න මං කවුද? එයාට ගෝලීය පින්තූරයක් තියනවා... මම ආරක්ෂාව ගැනයි තවත් දේවල් කිහිපයක් ගැනයි විතරයි බලාගන්නේ. මගේ අවවාදය තමයි ඔයා ඔයාගේ තාත්තගේ විචාර බුද්ධිය විශ්වාස කරන්න ඕනේ කියන එක. ඇත්ත වශයෙන්ම, එයා මේ වෙනකොට ඉතාම හොඳින් කටයුතු කරලා තියනවා, එහෙම නේද? ඒ උනත්, ඒක කරන්නේ කොහොමද කියන එක ඔයාට හිතා ගන්න බැරිනම්, ඔයා ඔයාගේ හදවත අනුගමනය කරන්න ඕනේ. මට සමාවෙන්න, මට තවත් උදව් කරන්න බැහැ, මීට වඩා. නමුත් ඔයාට මාව ඕනේ වෙනවා නම් මම හැමවෙලාවෙම ඔයාගේ යාළුවා වෙන්නම්. මට ඒක ඔයාට පොරොන්දු වෙන්න පුළුවන්."
“මම දන්නවා ටෝනි මාමේ... මම ඒක දන්නවා. ඔයා හරියට පර්වතයක් වගේ, හැම වෙලාවකම හිටියා.” ඇයගේ උස ගැන නොතකා, දිග ඇදී ඔහුගේ කම්මුල සිප ගත්තාය. ඔහු ඇය වටා අතක් යවා ඇයගේ උරහිස මිරිකුවේය.
"තරුණ නෝනා, මම මගේ රවුම ගහලා එන එක වඩා හොඳයි", ඔහු ඇයව අතහැර ඉවතට ගියේය. ඔහුගේ බළලා හැර, ඔහුට වටිනාකමක් ඇති, ඔහු සමඟ ලිංගිකව එක් නොවූ එකම ගැහැණිය ඇය වූ අතර, ඔහුට ඇයව කැඳවීමට සිදු වූ සෑම අවස්ථාවකම ඇයට 'පුසී' ලෙස නම් කිරීම ගැන ඔහු දැන් කනගාටු විය.